Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක, බලශක්ති, ඩිජිටල්කරණ සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම අද (5) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්විණි. ඉන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කාර්යාලයට පැමිණි අතර, එහිදී ජනාධිපති අනුර දිසානායක මහතා මෝදි අග්‍රාමාත්‍යවරයා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ඉන් පසු ජනාධිපති කාර්යාලයේදී දෙරටේ නායකයින් ද්වීපාර්ශ්වික සාකච්ඡාවලට ද එක්වූහ. අදාළ සාකච්ඡාවලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම සහ ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව ආරම්භ කෙරුණි.

මෙහිදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීම සිදුවිය. ඉන් අනතුරුව ඉන්දියාවේ සහයෝගයෙන් ඉදිකෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ කිරීම දෙරටේ රාජ්‍ය නායකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරනු ලැබීය.

මේ අතර මෙරට ආගමික ස්ථාන 5,000ක වහල මත සවිකෙරුණු සූර්ය පැනල ව්‍යාපෘතිය විවෘත කිරීමටද නායකයින් දෙපළ මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්විය. එමෙන්ම උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි ලෙස දඹුල්ලේ ඉදිකෙරුණු ශීතාගාර සහිත කෘෂි ගබඩා සංකීර්ණය ද අගමැති මෝදි මහතා සහ ජනාධිපති අනුර දිසානායක මහතා විවෘත කරනු ලැබීය.

මේ අතර මෙරට ඉන්දීය ණය ප්‍රතිව්‍යුගතකරණයට අදාළ ගිවිසුම් හුවමාරු කරගැනීම සිදු කෙරුණි. මෙහිදී විදෙස් නායකයෙකු වෙනුවෙන් මෙරටින් පිරිනමන ඉහළම සම්මානය වන ‘මිත්‍ර විභූෂණ’ සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදුකෙරිණි.

අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීමේ අවස්ථාවෙන් අනතුරුව දෙරටේ නායකයින් ඒකාබද්ද ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූහ.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර දිසානායක මහතා,

“විදෙස් ප්‍රතිපත්තිය අපේ මාර්ග සිතියම වෙනවා. මීට ටික වේලාවකට ප්‍රථම අපි ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා. අපේ ද්වීපාර්ශ්ව සාකච්ඡාවල වත්මන් තත්ත්වය පුළුල්ව සමාලෝචනය කළ අපි, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අපගේ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ආකාරය ගැන අදහස් හුවමාරු කරගත්තා. 

මෙරට ආර්ථිකය යළි ප්‍රතිසංස්කරණය කිරීම වර්ධනය හා ස්ථාවරත්වයට ලබාදුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් මා අගමැති මෝදි මහතාට සහ ඉන්දීය රජයට ස්තූතිය පළ කළා. 

අසල්වැසියා පළමුව යන ඉන්දියාවේ විදෙස් ප්‍රතිපත්ති රාමුවට අනුකූලව අපේ රටේ ආර්ථික ක්‍රියාවලිය සහ තිරසර ආර්ථික තත්ත්වයට ඉන්දියාව දක්වන කැපවීම සහ සහයෝගයට මෝදි අගමැතිවරයාට මම ස්තූතිවන්ත වෙනවා. 

දෙරට අතර දැනටමත් පවතින විශිෂ්ට ආරක්ෂිත සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කළ අතර ඉන්දියාවේ ආරක්ෂාව මෙන්ම කලාපයේ ආරක්ෂාවට හානිදායකවන කිසිදු කාර්යකට ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීම ඉඩ නොදීමේ ස්ථාවරය මා නැවත තහවුරු කළා”.

මේ අතර ජනාධිපති අනුර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්වික සාකච්ඡා අවසන්වීමෙන් අනතුරුව දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ. 

මේ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් සහ ඉන්දීය රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ඇතුළු පිරිසක් එක්ව ඇත.

Related posts

Sri Lanka urges India to remove trade barriers

Mohamed Dilsad

“15% VAT will be removed from all fees except on room charges in private hospitals from 01 July” – Minister Mangala

Mohamed Dilsad

1 முதல் 5 வரையான மாணவர்களுக்கான இரண்டாம் தவணை கல்வி நடவடிக்கைகள் நாளை ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment