ප්‍රමුඛ පුවත 1

සහන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජනපති රත්නපුරයට

(උදයම්,රත්නපුර)  –  අයහපත් කාලගුණයෙන් විපතටපත් රත්නපුර දිස්ති‍්‍රක්කයේ ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ සහ එහි ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (29) පෙරවරුවේ රත්නපුර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය වෙත ගියේය.

ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළේ එක් එක් ක්ෂේත‍්‍ර පිළිබඳ වෙන වෙනම මෙහිදී කරුණු විමසූ ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේ විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ගත හැකි උපරිම පියවර ගන්නා ලෙසයි.
තවදුරටත් මුදල් ප‍්‍රතිපාදන අවශ්‍ය වන්නේ නම් වහාම දන්වන ලෙස මෙහිදී දිස්ති‍්‍රක් ලේකම්වරිය වෙත උපදෙස් දුන් ජනාධිපතිතුමා විශේෂයෙන්ම බෝට්ටුවලින් ළඟාවිය නොහැකි ජීවිත අවදානම් සහිත ස්ථානවල සිරවී සිටින ජනතාව මුදා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට ද උපදෙස් දුන්නේය.
කඳවුරුවල වෙසෙන ජනතාවට අවශ්‍ය ආහාර, බෙහෙත් ද්‍රව්‍ය මෙන්ම ඇඳුම් පැළඳුම් පිළිබඳ නිරන්තරයෙන් සොයා බලමින් ඒවා සපුරාදීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මියගිය අයගේ ආදාහන කටයුතු සිදුකිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද කරුණු විමසූ ජනාධිපතිතුමා ජලය බැස ගිය පසු ජනතාවගේ නිවාස සහ ළිං පිරිසිදු කිරීමේ කටයුතු සඳහා අනුගමනය කරන ක‍්‍රමවේදය පිළිබඳව ද කරුණු විමසීය.
එමෙන්ම හානි වූ නිවාස ඉදිකර දීමේදී ති‍්‍රවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සහය ලබාගැනීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග නැවත තහවුරු කිරීම වෙනුවෙන් යම් සහනදායි වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට ද උපදෙස් දුන්නේය.
ශී‍්‍ර ලංකාවේ විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට මේ වන විට රටවල් කිහිපයක්ම ඉදිරිපත් වී ඇති බවත්, ඉන්දියාවෙන් මේ වන විට ආධාර නෞකා දෙකක් ශී‍්‍ර ලංකාවට එවා ඇති බවත් සඳහන් කළ ජනාධිපතිතුමා ජාත්‍යන්තරයේ එම සියලුදෙනාගේ සහය ඇතිව, විපතටපත් සියලු ජනතාවගේ ජන ජීවිත නැවත ගොඩනැංවීමට රජයේ සියලු වගකීම් ඉටුකරන බව ද අවධාරණය කළේය.
අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, තලතා අතුකෝරළ, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්ම මහත්මීන් ද, දිස්ති‍්‍රක්කයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු, පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා මැති ඇමතිවරු සහ රත්නපුර දිස්ති‍්‍රක් ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙන්ම ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

ප්‍රාථමික කාර්මික අමාත්‍යාංශයේ උතුරු පළාත් නව කාර්යාලය වවුනියාවේදී

Mohamed Dilsad

භාණ්ඩ වල දැන්වීම් ප්‍රචාරයේදී මිල පැහැදිලි වීම අනිවාර්යයි

Mohamed Dilsad

නව සන්ධානයේ ලාංඡනය ගැන තීරණය මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු

Mohamed Dilsad

Leave a Comment