Trending News

ආපදා තත්ත්වයෙන් නිවාස අහිමිවූවන්ට නව නිවාස ඉදිකරදීමේ වැඩසටහන කඩිනම කරන්නයි උපදෙස්

(උදයම්,කොළඹ)   –  පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයෙන් නිවාස අහිමිවූවන්ට නව නිවාස ඉදිකරදීමේ වැඩසටහන කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම එම නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළ සදහා ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනයක් වන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් රුපියල් බිලියන 05 ක මුදලක් ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

ආපදා තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම නිවාස අහිමිවූවන්ට කුලී පදනම මත නිවාස ලබා ගැනීම සදහා මසකට රුපියල් 7500 ක් බැගින් මාස 03 ක කාලයක් සදහා මුදල් ලබාදීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන අතර එම කටයුතු කඩිනම් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනමහතා මෙම උපදෙස් ලබාදුන්නේ ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති පශ්චාත් ආපදා ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, ගම්පහ, කොළඹ ඇතුළු ආපදාවට ලක්වූ දිස්ති‍්‍රක්කවල දිසාපතිවරුන් මෙම සාකච්ජාවට එක්ව සිටි අතර දිස්ති‍්‍රක්ක මට්ටමින් කි‍්‍රයාත්මකවන සහන වැඩපිළිවෙළ පිළිබද ඔවුහු දීර්ඝ වශයෙන් අදහස් ඉදිරිපත් කළහ. විනාශයට පත් සම්පත් සහ ආයතන පිළිබද තක්සේරු ලබා ගැනීම මෙන්ම නැවත පදිංචිය සදහා ඉඩම් හදුනාගැනීම සහ ඉඩම් පවරාගැනීමේ කටයුතු මේ වන විට රජය මගින් සිදු කරමින් සිටින අතර එම කටයුතු කඩිනම් කිරීමට ද උපදෙස් දුන් ජනාධිපතිවරයා තක්සේරු නිළධාරින්ගේ අඩු පාඩු පවතින්නේ නම් රේඛිය අමාත්‍යාංශ සහ පළාත් අමාත්‍යාංශ හරහා ඔවුන් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් ඒ පිළිබද දැනුම් දෙන ලෙසත් නිලධාරින්ට උපදෙස් දුන්නේය.

විනාශ වූ පාසල් පද්ධතිය ප‍්‍රතිසංස්කරණය සහ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබදව ද මෙහිදි නිලධාරින්ගෙන් කරුණු විමසූ ජනාධිපතිවරයා විනාශයට ප‍්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධන කි‍්‍රයාවලියේදී පාසල්, රෝහල් සහ නිවාස ඉදිකිරීම වෙනුවෙන් ප‍්‍රමුඛතාවය ලබාදෙන ලෙස ද උපදෙස් දුන්නේය.ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමට ලැබුණු විදේශ ආධාර බෙදාදීම විධිමත් ක‍්‍රමවේදයකට අනුව විනිවිදභාවයකින් යුතුව සිදු විය යුතු බවට ද මෙහිදී නිලධාරින්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ඒවා බෙදාදුන් ආකාරය පිළිබද ජනතාව දැනුවත් විය යුතු බවත් ඒ පිළිබද පූර්ණ වාර්තාවක් ආපදා කළමණාකරන අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යාමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය.

එමෙන්ම සහනාධාර වශයෙන් ලැබුණු දෛනිකව භාවිතා කළ හැකි ද්‍රව්‍ය ගබඩාවල රදවා නොගෙන ජනතාව වෙත නිකුත් කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

වගා හානි සදහා වන්දි ගෙවීම, ආපදාවට ලක්වූ කුඩා පරිමාණ ව්‍යාපාර සදහා වන්දි ගෙවීම, විදුලිබලය, පානීය ජලය, මහා මාර්ග ඇතුළු හානියට පත්වූ යටිතල පහසුකම් පුනරුත්ථාපනය, කසළ කළමනාකරණය හා පිරිසිදු කිරීම, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම මෙන්ම ප‍්‍රාදේශීය මට්ටමින් ආපදා කළමනාකරණ සැලැස්මක් සැකසීම පිළිබදව ද මෙහිදී සාකච්ජාවට ලක් විය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, වජිර අබේවර්ධන, සුසිල් පේ‍්‍රමජයන්ත, මංගල සමරවීර, රවී කරුණානායක, රාජිත සේනාරත්න, සජිත් පේ‍්‍රමදාස, සාගල රත්නායක, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ, තලතා අතුකෝරල, චන්දිම වීරක්කොඩි ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ජනාධිපති ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරින් ද, ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

Related posts

Kataragama shooting incident: 58 protesters released on bail

Mohamed Dilsad

GSP+ සහනය ශ්‍රී ලංකාවට හිමි වෙයිද

Mohamed Dilsad

வைத்தியசாலைகளுக்கு வருகை தரும் முதியோர்த் எதிர்கொள்ளும் பிரச்சினைகளுக்குத் தீர்வு

Mohamed Dilsad

Leave a Comment