Trending News

දිළිඳුකම පිටුදකිමින් ආර්ථික සමෘද්ධිය ඇතිකිරීම සඳහා ශක්තිමත් සහයෝගීතා වැඩපිළිවෙලක් -ජනපති

(UTV|කොළඹ) – කලාපයේ දිළිඳුකම පිටුදකිමින් ආර්ථික සමෘද්ධිය ඇතිකිරීම සඳහා ශක්තිමත් සහයෝගීතා වැඩපිළිවෙලක් අත්‍යාවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (20) බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුවේ තුන්වන සැසිවාරයට අදාළ අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමිනි.

දිළිඳුකම පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාව ආහාරවලින් ස්වයංපෝෂිත කිරීමට ලබන වසර ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

දකුණු හා අග්නිදිග ආසියාතික බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් 7 ක් මෙම සංවිධානයට අයත් වේ.

 

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා..

“මේ පැමිණ සිටින අපේ මිත‍්‍ර විදේශීය රටවල ගරු ඇමතිවරු සහ තානාපතිවරු ඇතුළු සියලූදෙනාම මම ඉතා ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒවගේම මේ සුන්දර පින්වන්ත වූත් භාග්‍යවන්ත වූත් අපගේ මාතෘභූමියට පැමිණීම පිළිබඳවත් මේ සමුළුව සාර්ථක කිරීමට දක්වන්නා වූ සහයෝගය පිළිබඳවත් මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව පසුගිය වසරේ ඉන්දියාවේදී පැවැත් වුණා. ඒ සමුළුවට මමත් සහභාගි වුණා. සමුළුව පැවැත්වුණේ ඉන්දියාවේ ගෝවා ප‍්‍රදේශයේ. ඒ බිම්ස්ටෙක් සමුළුවේ ආරාධිත විශේෂ රාජ්‍ය නායකයින් විදියට රුසියන් ජනාධිපති වැලැඞ්මීර් පුටින්, චීන ජනාධිපති ෂින්ජින්පින් සහ දකුණු අප‍්‍රිකානු අගමැති සූමා වැනි නායකයින් ද පැමිණ සිටියා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජපානයේ ජයිකා වැනි ආයතනවල නියෝජිතයින්ද එම සමුළුවට සහභාගි වුණා. මේ බිම්ස්ටෙක් සමුළුවේ සියලූම සාමාජික රටවල රාජ්‍ය නායකයින් මගේ ඉතාම හිතවත් මිතුරන්. ඉතාම සුහදශීලී ලෙස පසුගිය අවුරුදු කීපය තුළ බිම්ස්ටෙක් සමුළුවේ වගේම වෙනත් ජාත්‍යන්තර සමුළුවලදී අපි හමු වුණා. ඒවගේම බිම්ස්ටෙක් සාමාජික රටවල් රාශියකට මට යන්න පුළුවන්කම ලැබුණා. ඒ රටවල රාජ්‍ය නායකයින් මගේ රටට පැමිණියා. ඒ නිසා මේ බිම්ස්ටෙක් සමුළුවේ තිබෙන වැදගත්කම, බලය සහ ශක්තියත් මෙහි අරමුණු ඉෂ්ට කර ගැනීමේ උතුම් පරමාර්ථයත් සාර්ථක කර ගැනීමට ඒ පසුබිම් වඩාත් ඉවහල් වෙනවා. අපේ බැඳීම් වඩාත් ශක්තියක් වෙනවා. ඒ තුළ මේ සමුළුව බලාපොරොත්තු වන්නා වූ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අප සියලූදෙනාම කැපවිය යුතු වෙනවා.

කලාපීය මෙන්ම ජාතික සහ අන්තර්ජාතික වශයෙන් දිළිඳුකම පිටුදැකීම සඳහා සහයෝගිතාවයන් ලබාගෙන බිම්ස්ටෙක් සමුළුවේ අරමුණ සාර්ථක කර ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. අරමුණක්, අධිෂ්ඨානයක්, ආත්ම ධෛර්යයත් යම් කාර්යයක් ඉෂ්ට කර ගැනීම සඳහා පෞද්ගලිකව මෙන්ම පොදු අරමුණ තුළ ඉතා පැහැදිලිව තිබිය යුතු වෙනවා. ඒ සඳහා අප සෑම කෙනෙකුගේම කැපවීම අවශ්‍ය වෙනවා. අපේ හෘද සාක්ෂිය තුළ සැබෑ ලෙසම අපේ රටවල්වලත් ලෝකයේ මුළුමහත් මානව සමාජය තුළත් දුගී බව නිදහස් කිරීම සඳහා දුගීබව පිටුදැකීම සඳහා අප සෑම කෙනෙක්ම කැපවිය යුතු වෙනවා.
දිළිඳුකම තුරන් කිරීමෙන් රට නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ වගකීම ගරු එස්.බී දිසානායක අමාත්‍යතුමාට අපි භාරදීලා තියනවා. එතුමා එහි නායකත්වය ගෙන සිටිනවා. අපේ ජාතික වැඩසටහන්වල ගෙවී ගිය දශක දෙකක කාලයකට වැඩි අත්දැකීම් දිළිඳුකම පිටුදැකීම පිළිබඳව එස්.බී.දිසානායක ඇමතිතුමාට තිබෙනවා. ඒ අපේ රජය විසින් 1995 සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කිරීමේදී එහි පළමු ඇමතිවරයා එතුමා. එස්.බී දිසානායක ඇමතිතුමා එතුමාගේ කතාවේදි සඳහන් කළා දිළිඳුකම පිටුදැකීමේ ජාතික ව්‍යාපාර පිළිබඳව තිබෙන උවමනාව මගේ ඇගේ තිබෙනවයි කියලා. දිළිඳුකම පිටුදැකීම පිළිබඳව තිබෙන උවමානව පමණක් නොවෙයි මගේ ඇගේ තිබෙන්නේ. මගේ ඇගේ දිළිඳුකමත් තිබෙනවා. මම ඒක විවෘතව කියනවා. දිළිඳුකම අත්විඳපු කෙනෙක් මම. ඒ පීඩාව ලබපු කෙනෙක් මම. මගේ පියා මගේ මව සමග කුඩා කාලයේ සිට ගතකළ දුෂ්කර ජීවිතය මෙවැනි පුළුල් මානවවාදී ශ්‍රේෂ්ඨ ව්‍යාපාර සඳහා විශාල ශක්තියක්, බලයක් සහ පිටුවහලක් වෙනවා. දිළිඳුකම පිටුදැකීම සඳහා අපේ රටේ ක‍්‍රියාත්මක කරන ජාතික වැඩසටහන් ගැන ඇමතිතුමා ඔබට සඳහන් කළා. සමෘද්ධි ව්‍යාපාරය වගේම මාගේ යෝජනාවක් අනුව මෑතකදි දිළිඳුකම පිටුදැකීම සඳහා ග‍්‍රාමශක්ති ව්‍යාපාරය පටන් ගත්තා. මේ 2017 වසර දිළිඳුකමින් නිදහස් වීමේ වසර විදියට නම් කරලා අපි ගෙනියන ජාතික වැඩසටහන් දිළිඳුකම, ආහාර සහ සෞඛ්‍ය අතර තිබෙන සමීප සම්බන්ධතාවයට එකට බැඳෙන නිසා 2018 ලබන වර්ෂය ආහාර නිෂ්පාදන වර්ෂය වශයෙන් නම් කරලා තිබෙනවා.

අපේ විදේශීය මිත‍්‍ර රටවල ගෞරවනීය ඇමතිතුමාලා සහ ගෞරවනීය තානාපතිතුමාලාට මම සඳහන් කරන්න ඕනෑ අපේ රට ලෝකයේ අනිකුත් රටවල්වල වගේම මෑත භාගයේ කාලගුණික දේශගුණික විපර්යාසයන්ට මුහුණ දුන්නා. අපේ රටෙත් වසර සිය ගණනක සිට අඛණ්ඩව පැවත ආ කාලගුණික තත්ත්වයන් වෙනස් වී තිබෙනවා. අපේ රටේ එක් ප‍්‍රදේශයක දැන් අවුරුදු දෙකක් පුරා අඛණ්ඩව දැඩි නියගයක් තිබෙනවා. බොන්න වතුර නැහැ. කෘෂි කර්මාන්තයට ජලය නැහැ. ඒවගේම අපේ රටේ තවත් කොටසක පසුගිය අවුරුද්දක් තුළ දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වුණා. ජලාශ ඉතිරී ගියා. ජීවිත විනාශ වුණා. මිනිස්සු මැරුණා. දේපළ හානි වුණා. පසුගිය කාලය තුළ මේ වගේ ස්වාභාවික ව්‍යසනයන්ට අපි මුහුණ දුන්නා. ඒ තුළ දිළිඳුකම පිළිබඳව අභියෝගය තවත් වර්ධනය වුණා. ඒ නිසා අපි මේ සියලූදේට මුහුණ දිය යුතු වෙනවා. අපි බිම්ස්ටෙක් සාමාජික රටවල් විදියට මේ සඳහා කැප වෙනවා වගේම දිළිඳුකම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ බලවතුන්ගේ හැසිරීම කොයි ආකාරයෙන්ද? දිළිඳුකම පිටුදැකීම සඳහා ලෝකයේ මහා බලවතුන් දෙන දායකත්වය සහ කැපවීම කොතෙක්ද? එය බලවතුන් දුබලයින් හෝ මැදිහත්භාවයෙන් සිටින්නන් පමණක් නොව මුළුමහත් මානව සමාජයේ සෑම කෙනෙක්ම උගතුන්, බුද්ධිමතුන්, බහුශ‍්‍රැතයින්, විශේෂඥයින්, දේශපාලනඥයින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු සෑම කෙනෙක්ම තමන්ගේ හෘද සාක්ෂියෙන් ඇසිය යුතු වෙනවා. යුද අභ්‍යාස සඳහා බලවතුන් වාර්ෂිකව මොනතරම් වියදමක් දරනවද? ලෝක බලවතුන් යුද අභ්‍යාසවලට වියදම් කරන වියදම වසරකට කොච්චරද? දුගී බවින් ලෝකය නිදහස් කරන්න ඒ වැය කරන අතිවිශාල මුදලින් යම් ප‍්‍රමාණයක් මේ සඳහා ඒ අයට පරිත්‍යාග කරන්න බැරිද. යුද නිර්මාණය කරමින් ලෝකයේ බලවතුන්ම යුද නැවැත්වීමේ අසාර්ථක උත්සාහයන්වල යෙදෙනවා.
2016 වසරේ මම පාප් වහන්සේ හමුවූ අවස්ථාවේ උන්වහන්සේ මගෙන් ප‍්‍රශ්නයක් ඇහුවා. උන්වහන්සේ මගේ මුහුණ දිහා බලාගෙන ඇහුවා ලෝකයේ අද තිබෙන ජාත්‍යන්තර යුද තත්ත්වය පිළිබඳව. යුද බිය. ත‍්‍රස්තවාදය. නැති කරන්න කළ යුත්තේ කුමක්ද කියලා. උන්වහන්සේ ඇසුව ප‍්‍රශ්නයට දිය යුත්තේ දීර්ඝ පිළිතුරක් නිසා මම උන්වහන්සේගේ පින්වන්ත මුහුණ දිහා බලාගෙන සිනාමුසු මුහුණින් නිහඩව සිටියා. උන්වහන්සේ මට කිව්වා ලෝකයේ යුද ආයුධ සඳහා යුද්ධ සඳහා ක‍්‍රියාකරන සෑම රටකම සෑම කෙනෙක්ම දැනගත යුතුයි යුද අභ්‍යාස කරන අය, න්‍යෂ්ටික අවි ආයුධ හදන අය, පරමාණු බෝම්බ හදන අය, මිසයිල් අත්හදා බලන අයට පහසුවෙන් කළ හැකි එකම දේ තමයි තමාගේ රටේ යුද ආයුධ නිෂ්පාදනය නැවතීම කියලා. ඒ යුද ආයුධ නිෂ්පාදනය නවත්වනවා නම් ලෝකයේ යුද්ධ නැහැ. සාම සාකච්ජා අවශ්‍ය වන්නේ නැහැ. යුද අභ්‍යාස අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඒ කරන්නා වූ ක‍්‍රියාකාරකම් තුළ මුළු මහත් සමස්ත ලෝකයේ දුගීභාවය සඳහා දුගී භාවය වර්ධනය වන්න කොතෙකුත් නම් ලෝක බලවතුන් ඒ සඳහා කැපකිරීම් කරනවාද කියන ප‍්‍රශ්නය තිබෙනවා. ඒ වගේම ඔබ සෑම කෙනෙක්ම දන්නවා ආර්ථික සමෘද්ධියක් ඉහළ ලෙස ඇති ලෝකයේ රටවල්වල නිෂ්පාදනය කරන ආහාරවලින් තුනෙන් එකක් ඉවත යනවා. සුඛෝපභෝගී හෝටල්වල මහා ධනවත් පවුල්වල මේසයට එන ආහාරවලින් මේසයේ වාඩිවූ කෙනා පාවිච්චි කරන ප‍්‍රමාණයට වඩා විශාල ප‍්‍රමාණයක් ඉවත යනවා. ලෝකයේ අති විශාල ප‍්‍රමාණයක් කුසගින්නේ සිටිනවා. සියයට 30 කට වැඩි ප‍්‍රමාණයක්. දුගීභාවය පිළිබඳව බිම්ස්ටෙක් රටවල්වල වගේම ලෝකයේ අනිකුත් රටවල්වල තිබෙන සංඛ්‍යාලේඛන කොතෙක් දුරට නිවැරදිද කියන ප‍්‍රශ්නය තිබෙනවා. ඒ නිසා බලවතුන් කෙසේ කළත් බලවතුන් කෙසේ හැසිරුණත් බිම්ස්ටෙක් සාමාජික රටවල් විදියට අපේ අරමුණු ඉෂ්ට කර ගන්න අපි වැඩ කරන්න ඕනෑ” යනුවෙන් පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Appeal Court dismisses petition against Gotabhaya

Mohamed Dilsad

மாகெலிய நீர்வீழ்ச்சியில் தவறி விழுந்து காணாமல் போன மருத்துவரின் சடலம் கண்டுபிடிப்பு

Mohamed Dilsad

மகளுக்கு நஞ்சு கொடுத்து தானும் நஞ்சருந்தி உயிரிழந்த தந்தை

Mohamed Dilsad

Leave a Comment