ප්‍රමුඛ පුවත 1

මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා සහය ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි

(UTV|මහනුවර) – මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරමින් ඔවුන්ට දඬුවම් ලබාදීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ පක්ෂ විපක්ෂ සියලු දෙනා තමන්ට සහය ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ඒ සඳහා තමන් ශක්තිමත් කරනවා මිස කිසිදු අවස්ථාවක තමාව දුර්වල කිරීමට ඔවුන් කටයුතු නොකළ යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේ ඊයේ (22) පස්වරුවේ මහනුවර ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

2014 වසරේ තමන් පැවති රජයෙන් ඉවත්වූ විට එදා ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයින් තමාට චෝදනා කළ අතර අද එක්සත් ජාතික පාක්ෂිකයින් ද තමාට චෝදනා නගමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා තමා එම කිසිදු පාක්ෂිකයෙකුට ද්‍රෝහි වූවා නොව තමා සැමදා කටයුතු කරන්නේ දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට සහ ඒකාධිපතිවාදයට මෙන්ම පවුල්වාදයට එරෙහිව බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

යහපාලන ආණ්ඩුව අසමත් බැවින් තමන් සමග එක්වන ලෙස හිටපු නායකයා කර ඇති ප‍්‍රකාශය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ තමන් තෙවරක්ම අසමත් වූ අයුරු අද ඔහුට අමතක වී ඇති බවයි. බලයේ සිටීමට වසර දෙකක් තිබියදී ජනාධිපතිවරණයකට ගියේ රටට එල්වී ඇති ජාත්‍යන්තර අභියෝගවලට මෙන්ම අධික ණය බරත් සමග රට හමුවේ තිබූ ආර්ථික අර්බුදයට මුහුණදීමට තිබෙන අසමත්භාවය නිසා වන අතරම, 2015 ජනවාරී 08 වනදා ජනාධිපතිවරණයෙන් ඔහු දෙවන වරටත් අසමත්වූ අතර, ඉන්පසු පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී තෙවන වරටත් අසමත් වූ අන්දම ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

අද මහබැංකු වාර්තාව ගැන වේදිකාවේ කෑ ගසන හිටපු නායකයා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ ඒ සඳහා ඡන්දය භාවිතා නොකර රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවෙන් පිට වූ විගස දුරකථන ඇමතුමක් ලබාදී ඔහුට සුබ පැතූ අයුරු ද තමා හොඳින් දන්නා බව ජනාධිපතිතුමා පැවසීය. එමෙන්ම මහ බැංකු බැඳුම්කර වාර්තාව පිළිබඳ කුමන අන්දමින් කතා කළත් මෙම මහා මංකොල්ලය සිදුව ඇත්තේ 2008 වසරේ සිට බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පෙන්වා දී තිබෙන බව ඔවුන් අමතක නොකළ යුතු බවද ජනාධිපතිතුමා පැවසීය.

අද රට කඩනවා, රට විකුණනවා යැයි වේදිකාවේ කෑ ගසන ඔහු ලංකා ඉතිහාසයේ කිසිදු නායකයෙකු සිදු නොකළ අන්දමින් කොළඹ වරාය නගරයට අක්කර 240 ක් සින්නක්කර ඔප්පුවකින් චීන සමාගමකට පවරාදීමට සැලසුම් සකස් කර තිබූ ආකාරයත්. යුද්ධය දිනූ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට යුද හමුදා මූලස්ථානයක් අහිමි කරමින් යුද හමුදා මූලස්ථානය පැවති අක්කර 06 ක භූමිය සින්නක්කර ඔප්පුවකින් ෂැන්ග‍්‍රිල්ලා සමාගමට පවරාදුන් අන්දමත් සිහිපත් කළේය.

කන්ද උඩරට ඓතිහාසික 1818 කැරැල්ල සිදුවී වසර 200 ක් සපිරෙන මේ මොහොතේ රට බේරා ගැනීමට තිබෙන ඊළඟ සටන දූෂණයට එරෙහි සටන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා අද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක අයිතිය සහ උරුමය තිබෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට පමණක් බවත් නොකිලිටි දේශපාලන ව්‍යාපාරයක් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග අත්වැල් බැඳ ගනිමින් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට මෙම පෙබරවාරී 10 වනදා රටේ සියලූ ජනතාව පෙළගැසිය යුතු බවත් ප‍්‍රකාශ කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිබෙන ජනහමු මාලාවේ මහනුවර දිස්ති‍්‍රක් ජනහමුව මෙලෙස අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් මධ්‍යම පළාත් පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්විණි.

මහවැලි ව්‍යාපාරය පිළිබඳ රචනා කරන ලද ‘මතක සටහන්’ ග‍්‍රන්ථය ද මෙහිදී මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා. අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, එස්.බී. දිසානායක, හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න,මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහින්ද අබේකෝන්, තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, එදිරිවීර වීරවර්ධන යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ද මෙම ජන හමුවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගැබිනි මව්වරුන්ගේ පෝෂණය නැංවීමේ විශේෂ වැඩසටහනක්

Mohamed Dilsad

නව අගමැති ජාතිය ඇමතීමට සුදානම්

Mohamed Dilsad

පාසල් 37 ක තෙවන වාරය ආරම්භ කිරිම 06 වැනිදා

Mohamed Dilsad

Leave a Comment