ප්‍රමුඛ පුවත 1

ජනපති අම්පාර හා මඩකලපුව ප‍්‍රදේශයේ ජනහමු රැසකට එක්වෙයි – ජනතාවගෙන් ජනපතිට ඉහළ ප‍්‍රතිචාරයක්

(UTV| මඩකලපුව) – පශ්චාත් යුද සමයක වගකීම් නිසි ලෙස ඉටු නොවීම නිසා යුද්ධය අවසන් වූවත් රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට සමගියෙන් ජීවත්විය හැකි පරිසරයක් රට තුළ නිර්මාණය නොවූ බව ජනාධිපතිතුමා පවසයි.

තමන් අද උරදී සිටින්නේ අතපසු වූ එම සංහිඳියා වැඩපිළිවෙළ රටේ සියලු ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට බව ජනාධිපතිතුමා අවධාරණය කළේ ඊයේ (31) පස්වරුවේ සමන්තුරේ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

යුද්ධය අවසන් වුවත් අතුරුදන්වීම්, මිනිස් ඝාතන සහ මාධ්‍යවේදීන් මහපාරේ මරා දැමූ මෙන්ම මාධ්‍යවේදීන් රට හැර ගිය යුගය නිමා නොවු බව සිහිපත් කළ ජනාධිපතිතුමා ඇතැම් පිරිස් ජාතිවාදී ගැටුම් ඇතිවන අයුරින් හැසිරීම හේතුවෙන් රටේ ජනතාව අතර අවිශ්වාසය, බිය සහ සැකය ගොඩනැගුණු බව ද කියා සිටියේය. පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව තමා ජනාධිපති ධුරයට පත්කර ගත්තේ රටේ සියලු ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙන්ම සාමකාමී රටක් ගොඩනැගීමට බව පැවසූ ජනාධිපතිතුමා එම වගකීම අද තමන් නොපිරිහෙළා ඉටුකරමින් සිටින බව ද කියා සිටියේය.

නැවත යුද්ධයක් ඇති නොවන අයුරින් රට ගොඩනැගීම තම අරමුණ බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා අද ජාත්‍යන්තරයේ සියලු දෙනාගේ සහයෝගය ද මාතෘ භූමියට හිමිව තිබෙන බව සඳහන් කළේය. යුද්ධයෙන් බැට කෑ නැගෙනහිර ජනතාවට සංවර්ධනයේ සාධාරණය ඉටුකිරීමට කැපවන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පත්වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නියෝජිත පිරිස සමග එම වැඩපිළිවෙළ වඩා කාර්යක්ෂම කරන බව ද කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අම්පාර දිස්ති‍්‍රක්කයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබුණි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ශ්‍රියානි විජේවික‍්‍රම, හිටපු අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා, වයි.එම්. මුසම්මිල් යන මහත්වරුන් ඇතුළු සමන්තුරේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් ඇතුළු පිරිසක් ද මෙම ජනහමුවට එක්ව සිටියහ.

මේ අතර ඊයේ පස්වරුවේ කල්මුණේ ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට ද ජනාධිපතිතුමා එක් විය. බහුතර මුස්ලිම් ජනතාවක් එක්ව සිටී මෙම ජනහමුවේදී ඔවුන්ගේ ඉහළ ප‍්‍රතිචාරයක් ජනාධිපතිතුමා වෙත හිමි විය.

අනතුරුව මඩකලපුව, කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට ද ජනාධිපතිතුමා සහභාගී විය. මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මඩකලපුව දිස්ති‍්‍රක්කය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනහමුව සංවිධානය කර තිබුණු අතර ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව විශාල පිරිසක් ඊට එක්ව සිටියහ. එහිදී ද ජනාධිපතිතුමාට එම ජනතාවගෙන් හිමිවූයේ ඉහළ ප‍්‍රතිචාරයකි.

එම ජනතාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රටේ සියලු ජනතාවට අවශ්‍ය සංවර්ධනයේ ප‍්‍රතිලාභ ලබාදීමට තමා කැපවී සිටින බවයි. ගමේ සහ නගරයේ ජනතාව තමා සමග වඩා සමීප කරවීමේ පාලම මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත කණ්ඩායම ජයග‍්‍රහණය කරවමින් ගොඩනගාගත යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය. පෙබරවාරි 10 වනදා ලබන මැතිවරණ ජයග‍්‍රහණයත් සමග රටට අවශ්‍ය නව පරිවර්තනීය ගමන සඳහා ජාති, ආගම් බේදයකින් තොරව එකම ශී‍්‍ර ලාංකීක ජනතාවක් ලෙස සියලු ජනතාව අත්වැල් බැඳගත යුතු බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඒ.එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා විසින් සංවිධානය කර තිබූ මෙම ජන හමුවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුළු මඩකලපුව දිස්ති‍්‍රක්කයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අනතුරුව මඩකලපුව එරාවුර් ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් සඳහා ද ජනාධිපතිතුමා සහභාගී විය. එහිදී ද ජනාධිපතිතුමා ජනතාව අමතමින් අවධාරණය කළේ තමා සිය බලය සෑමවිටම භාවිතා කරන්නේ මේ රටේ පොදු මහජනතාවගේ යහපත සඳහා බවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොදු රාජ්‍ය මණ්ඩල අධිකරණ අමාත්‍යවරුන්ගේ සමුළුව ඇරඹේ

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් කොළඹ සරසවියේ සිසුන් අද අධිකරණයට

Mohamed Dilsad

දෙහිවල – ගල්කිස්ස සහ වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු අදත්

Mohamed Dilsad

Leave a Comment