ප්‍රමුඛ පුවත 1

අමානුෂික නවකවදය පිටුදැකීමට සියලු පාර්ශ්වයන් එක් වූ පොදු වැඩපිළිවෙළකට කඩිනමින් අවතීර්ණ විය යුතු බව ජනපති පවසයි

(UTV| කොළඹ) – විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින අමානුෂික නවකවදය පිටුදැකීමට වගකිවයුතු සියලු පාර්ශ්වයන් එක් වූ පොදු වැඩපිළිවෙළකට කඩිනමින් අවතීර්ණ විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (08) පෙරවරුවේ එක්වෙමිනි.

සදාචාරවත් නොවූ අමානුෂික නවකවදය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ මෙරට විශ්වවිද්‍යාල සිසුන්ට අමිහිරි අත්දැකීම් රැසකට මුහුණදීමට සිදුවිය. හෙට දවසේ රට භාරගැනීමට සිටින දරු පරපුරට එල්ල වී ඇති මෙම අභියෝගයට කඩිනම් විසඳුම් ලබාදීම අවශ්‍ය බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

මෙම ම්ලේච්ඡ කි‍්‍රයාවන් පිටුපස ඇතැම් බලලෝභී දේශපාලන සංවිධාන ද කි‍්‍රයාත්මක වන අතර දැයේ දරුවන්ගේ අනාගතය අඳුරු කරන මෙම ශිෂ්‍ය ත‍්‍රස්තවාදය පිටුදැකීම වෙනුවෙන් සියලු පාර්ශ්වයන් වගකීම් ඉටුකළයුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ජංගම දුරකථන සහ පරිගණක හරහා සිදුවන අපරාධ පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මෙම අහිතකර තත්ත්වය පිළිබඳව රජයේ පුළුල් අවධානය යොමුව තිබෙන බවයි.

දරුවන්ගේ විභාග ප‍්‍රතිඵල පිළිබඳව සතුටු වනවා සේම යහපත් සමාජයක් තුළ තාක්ෂණය නිවැරදිව භාවිතා කරන සහ සමාජ වගකීම් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන විභාග මෙන්ම ජීවිත ද සමත්වූ මතු පරපුරක් රටට දායාද කිරීමට සියලුදෙනා තම වගකීම් ඉටකළයුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නෙත්මිණි විද්‍යානි ලියනගේ දැරියගේ ආරාධනාව පරිදි අද (08) එම විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරු දැරියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබිණි.

විද්‍යාල පරිශ‍්‍රයේ ඇති රණවිරු ස්මාරකයට ද පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කර නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දෙනු ලැබීය.

ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් විද්‍යාල පරිශ‍්‍රයේ නා පැළයක් රෝපණය කිරීම ද සිදු කෙරිණි.

ශිෂ්‍ය භට වාර්ෂික ඇගයීම් කඳවුරේදී සමස්ත ලංකා ප‍්‍රථම ස්ථානය දිනාගත් විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩායම වෙත සහතික පත් ප‍්‍රදානය කිරීම සහ 2018 සමස්ත ලංකා නැටුම් තරගයෙන් ප‍්‍රථම ස්ථානය දිනාගත් කණ්ඩායමට සහතික පත් ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

නෙත්මිණි විද්‍යානි ලියනගේ දැරියට ද ජනාධිපතිතුමා අතින් තිළිණයක් පිළිගැන්වුණු අතර විදුහල්පති ඩී.එම්. රණතුංග මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බී.රැකව, ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර, දිස්ති‍්‍රක් ලේකම් එන්.බී. පුෂ්පකුමාර, නගරාධිපති නලින් සූරියගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගාලු කොටුවේ ඉපැරැණි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

Mohamed Dilsad

සාපෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන්

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ ආරම්භ කරයි

Mohamed Dilsad

Leave a Comment