ප්‍රමුඛ පුවත 1

වන ඝනත්වය ඉහළ නැංවීමට පියවර ගන්නා බව ජනපති ලෝක වනාන්තර සැමරුම් සමුළුවේදී කියයි

(UTV|රෝමය) – තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ ප‍්‍රමුඛ පියවරක් වශයෙන්, දැනට පවත්නා වන ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහාත්, එය 32% දක්වා වර්ධනය කර ගැනීම සඳහාත් වඩා සුදුසු පියවර අනුගමනය කිරීමට ශ‍්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවේ හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරයේ විශේෂ දේශනය සිදුකරමිනි.

සමුළුව රෝමයේ පිහිටි එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේදී ඊයේ (16) ආරම්භ කෙරිණි.සමුළුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ වනාන්තරවලින් මිනිසාට සමාජ, ආර්ථික ප‍්‍රතිලාභ රැසක් උදාවන අතර ආහාර, බලශක්ති, වාසස්ථාන ඇතුළු මානුෂිය අවශ්‍යතා සපුරාලන වන පද්ධතිය තිරසර ලෙස කළමනාකරණය කිරීම ඉතා වැදගත් බවයි.

ඒ සඳහා පුළුල් සංවාදයකට සහ තීන්දු තීරණ ගැනීමට හොඳම වේදිකාව මෙම ලෝක වන සංරක්ෂණ කමිටුව බව පැවසූ ජනාධිපතිතුමා එය ඉදිරියේ ඇති න්‍යාය පත‍්‍රය ඉතා සංකීර්ණ මෙන්ම අභියෝගාත්මක වුව ද, ඒවා ජය ගැනීම සඳහා සියලු සාමාජික රටවල් සාමුහිකව කැපවිය යුතු බව ද අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ශතවර්ෂ කිහිපයකට පෙර ශ‍්‍රී ලංකාවේ තිබූ 50%කට වැඩි වන ආවරණය වර්තමානය වන විට සියයට 29% දක්වා පහතට පැමිණ ඇති බවයි. විශාල වශයෙන් සිදුවන කෘෂිකාර්මික කටයුතු සහ ජනාවාස ඉදිකිරීම සඳහා ඉඩම් භාවිතය හේතුවෙන් මෙම වන ආවරණය අහිමිවී ඇති අතර, මේ හේතුවෙන් දැඩි පාරිසරික උවදුරුවලට මුහුණ දීමට සිදුව තිබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
වනාන්තර ප‍්‍රතිරෝපණය රජයේ ප‍්‍රධාන වගකීමක් ලෙස ඉටුකරන අතර 2020 වන විට පැළ මිලියන 5 ක් වගා කිරීම, පරිසරය හා ජල පද්ධති ආරක්ෂා කිරීම සඳහා මුහුදු මට්ටමින් අඩි 5000කට ඉහළින් පිහිටා ඇති ගස් කපා පහත හෙළීම තහනම් කිරීම, සෑම පාසල් දරුවෙකුම එක් පැළයක් රෝපණය කිරීමට දිරිමත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් මේ වන විට රජය කි‍්‍රයාත්මක කරමින් සිටින බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
මේ අතර ශ‍්‍රී ලංකාවට සහ එහි ජනතාවට එක්සත් ජාතින්ගේ අහාර හා කෘෂිකර්ම සංවිධානය නිරන්තයෙන් ලබාදෙන සහය පිළිබඳ ස්තූතියි පළ කිරීමට ද ජනාධිපතිතුමා මෙය අවස්ථාවක් කර ගත්තේය .
තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වනාන්තරවල දායකත්වය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙම සමුළුව සංවිධානය කරයි.
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් José Graziano da Silva මහතා මෙම සමුළුව අමතමින් කියා සිටියේ සාමාජික රටවලට තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සහය දැක්වීම තම සංවිධානයේ අරමුණ බවයි.
ලෝක වන සංරක්ෂණ කමිටුව සඳහා තිර න්‍යාය පත‍්‍රයක් 2016 වසරේදී හදුන්වාදෙනු ලැබු අතර එම වැඩසටහන්වල ප‍්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් එම අරමුණු ජය ගැනීම සඳහා සාමාජික රටවලට ලබාදියහැකි සියලු සහය ලබාදෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
පරිසරය රැක ගැනීම වෙනුවෙන් දැඩි කැපකිරීමකින් සහ ඕනෑකමකින් කටයුතු කරන නායකයෙකු ලෙස මෙම සමුළුවට ශ‍්‍රී ලංකා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඇගයීමට ලක්විය.

හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුව හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය අමතමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දැක්වූ අදහස්

“ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරයේ ආරම්භක සැසිය ආමන්ත‍්‍රණය කිරීමට මට ආරාධනා කිරීම පිළිබඳව ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) අධ්‍යක්ෂ ජනරාල්වරයාට මගේ ස්තූතිය පිරිනමමි.
මෙම අවස්ථාව ශ‍්‍රී ලංකාවට මෙන්ම පුද්ගලිකව මා හට ද ඉතාමත් ගෞරවයකි.
කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස හා පසුව පරිසර අමාත්‍යවරයා ලෙස ද මම ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමග ඉතා සමීප සබඳතාවයක් පවත්වන්නෙමි.
මෙවර රාජ්‍ය නායකයා ලෙස මෙම ගාම්භීර සම්මේලනය ආමන්ත‍්‍රණය කිරීමට මට අවස්ථාවක් ලැබී ඇත.
මාගේ රටට හා එහි වැසියන්ට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ලබා දුන් සහයෝගය පිළිබඳව කෘතඥ වන අතරම, විශේෂයෙන් ගංවතුර, නියග සහ දරිද්‍රතාවයෙන් පෙළෙන ගොවි ජනතාවට විවිධ පාරිසරික බලපෑම් එල්ල වූ අවස්ථාවන්හි ඉතා කඩිනමින් සහන සැලසීමට ඉදිරිපත්වීම පිළිබඳව මාගේ ස්තූතියි පිරිනමමි.
මෙම සැසිවාරයේ මාතෘකාව පිළිබඳ නැවත අවධානය යොමුකරන්නේ නම් මගේ රටේ බහුතරයක් ජනතාවගේ ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි.
ශතවර්ෂ කිහිපයකට පෙර ශ‍්‍රී ලංකාවේ භූමි ප‍්‍රමාණයෙන් 50% වැඩි ප‍්‍රමාණයක් වනාන්තරවලින් ආවරණය වී තිබුණි. වර්තමානයේ දිවයිනේ සම්පූර්ණ වන ආවරණය වන්නේ අනෙක් ආකාරයේ වෘක්ෂලතාදිය හැර 29.7%ක් පමණි.
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ ප‍්‍රමුඛ පියවරක් වශයෙන්, දැනට පවත්නා වන ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහාත්, එය 32% දක්වා වර්ධනය කර ගැනීම සඳහාත් වඩා සුදුසු පියවරක් අනුගමනය කිරීමට ශ‍්‍රී ලංකාව කැපවී සිටී.
අපනයන කෘෂිකර්ම කටයුතු සඳහා මෙන්ම විශාල වශයෙන් සිදුවන කෘෂිකාර්මික කටයුතු හා ජනාවාස ඉදිකිරීම ආදි කි‍්‍රයාවන්ට ඉඩම් භාවිතය හේතුවෙන් මගේ රටේ වන ආවරණයෙන් 50% කට වැඩි ප‍්‍රමාණයක් අහිමි විය.
වනාන්තර විනාශය දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල දැඩි පාරිසරික උවදුරු ඇතිවීමට හේතු වී තිබේ. එම විනාශයන් වර්ෂාපතන රටාව වෙනස් කිරීමට, පාංශූ ඛාදනයට සහ කෘෂිකාර්මික නිෂ්පාදනයන් විනාශ කිරීමට ද බලපා ඇත.
වනාන්තර විසින් විශාල සමාජ, ආර්ථික ප‍්‍රයෝජන රැසක් එනම් ආහාර, බලශක්ති, වාසස්ථාන ඇතුළු මූලික මානුෂිය අවශ්‍යතාවයන් ලබා දෙයි. මෙම අවශ්‍යතාවයන් සහ අනෙකුත් අවශ්‍යතාවයන් සපුරාලන වනාන්නර තිරසර ලෙස කළමනාකරණය කිරීම ඉතා වැදගත්ය.
වනාන්නර ප‍්‍රතිරෝපණය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමකි. අනෙකුත් සියලුම රාජ්‍ය අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන සහ සමූපකාර සංගම් ඒකාබද්ධව 2020 වන විට පැළ මිලියන 5 ක් වගා කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
දැනට ශ‍්‍රී ලංකාවේ පාසල් සිසුන් හතළිස් තුන් ලක්ෂයක් පමණ සිටින අතර, සෑම පාසල් සිසුවෙකු විසින්ම එක් පැළයක් බැගින් වගා කිරීම දිරිමත් කිරීමේ ව්‍යාපෘතියක් රජය විසින් හැකි සෑම ප‍්‍රදේශයකම දියත් කර තිබේ.
පාසලේ, ගෙවත්තේ හෝ හැකි ඕනෑම ස්ථානයක එම වගාව සිදුකළ හැකි අතර, ඒ වෙනුවෙන් සිසුන්ට යම් මූල්‍ය ආධාරයක් ලබාදීමට රජය කටයුතු කරන අතර, සෑම සිසුවෙකුගේම නමින් එම මුදල බැර කරනු ලැබේ. මෙසේ සිසුන් වගාව සඳහා දිරිමත් කිරීම තුළින් ඔවුන්ගේ පවුලට අතිරේක ආදායමක් ලැබෙනවා සේම පරිසරය සුරැකීමේ වගකීම පිළිබඳව ද ඔවුන්ට අවබෝධයක් ලැබෙනු ඇත.
පරිසරය හා ජල පද්ධති ආරක්ෂා කිරීම සඳහා මුහුදු මට්ටමින් අඩි 5000 කට ඉහළින් පිහිටා ඇති ගස් කපා පහළට හෙළිම රජය විසින් තහනම් කර ඇත. මහා පරිමාණ හා මධ්‍යම පරිමාණ ව්‍යාපෘති කි‍්‍රයාවට නැංවීමට පෙර පාරිසරික බලපෑම් ඇගයුම් සිදු කිරීම අනිවාර්යය වේ.
මා දන්නා පරිදි ලෝක වනාරක්ෂක කමිටුව ගෝලීය වශයෙන් වැඩිදියුණු වන වනාන්තර ක්ෂේත‍්‍ර පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම, සාකච්ඡා කිරීම සහ විවාද කිරීමට මෙන්ම තීරණ ගැනීම සඳහා වූ සුදුසුම ස්ථානයයි. ඔබ ඉදිරියේ ඇති න්‍යාය පත‍්‍රය ඉතා සංකීර්ණ සේම අභියෝගාත්මක එකක් වනු නියතයි.
මාගේ කතාව අවසන් කිරීමට ප‍්‍රථම මේ සම්බන්ධව සිදුකළ ආරාධනයටත්. දැක්වූ ඉහළ ආගන්තුක සත්කාර පිළිබඳවත් අහාර හා කෘෂිකර්ම සංවිධානයට නැවත වාරයක් මාගේ ස්තූතිය පිරිනමමි”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි..

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් තැපැල් ඡන්ද අයදුම්පත් ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

පස්වන ණය වාරිකය නිදහස් කරන්න IMF අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment