(UTV| කොළඹ) – සංචාරක හිතැති ත්‍රිරෝද රථ ප්‍රචලිත කිරීමේ අරමුණෙන් එම රථවලට Wifi සහ මාර්ග සිතියම් ඇතුළු නවීන පහසුකම් ලබා ගැනීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීමට පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
මීට අමතරව දැනට පවතින ඉන්ධන රථයෙන් ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ වෙත මාරු වන රියදුරු මහතුන් වෙනුවෙන් ද විශේෂ සහන ලබා දෙන බව අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, සංචාරක මිතුරු
ත්‍රිරෝද රථ සන්නාමය දියත් කිරීමේ සමාරම්භක උළෙලට එක් වෙමිනි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය අද (30) ගාලු මුවදොර දී පැවැත්විණි. මෙම වැඩපිළිවෙළ යටතේ ත්‍රිරෝද රථ රියැදුරන්ට විශේෂ නේවාසික පුහුණුවක් ලබා දෙනු ලබන අතර එසේ පුහුණුව ලත් රියදුරන්
සහ අදාළ ප්‍රමිතීන්ට අනුව සකස් කළ ත්‍රීරෝද රථ සඳහා හඳුනා ගැනීමේ පුවරු ලබා දීම ද සිදු කෙරේ. උත්සවයේ දී අදහස් දැක් වූ මංගල සමරවීර මහතා –
“2018 අයවැය යෝජනාවක් අනුව ක්‍රියාත්මක මේ වැඩසටහන සඳහා අයවැය මගින් රුපියල් මිලියන 50ක් පළමු අදියර සඳහා වෙන් කරල තියෙනවා. ඔවුන් මේ රටේ දෛනික ජීවිතයේ දී ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටුකරන පිරිසක්, නමුත් අපේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කරද්දි කවදාවත් ඔවුන්ගේ සේවය පිළිබඳ ඇගයීමක් හෝ හඳුනා ගැනීමක් සිදුවෙලා තිබුණේ නැහැ. ඇත්තට ම කිව්වොත් දැනට රටපුරා ත්‍රීවිල මිලියන 1.3 ක් විතර තියෙනවා. ඒවායින් ලක්ෂ 8 ක් විතර එදිනෙදා මහජන ප්‍රවාහන සේවයට යොදවලා තියෙනවා. ඒ වගේම, කොළඹ නගරය තුළ විතරක් ත්‍රී විල් රථ 60,000 ක් විතර තියෙන බව සොයාගෙන තියෙනවා. අපේ අරමුණ මේ අය ආර්ථික වශයෙන් බල ගැන්වුනු පිරිසක් බවට පත් කර ගැනීමයි.
ඒවගේම අපේ රටේ ජාතික ආර්ථකයේ තුන්වෙනි වැඩිම ආදායමක් ගෙනෙන අංශය තමයි සංචාරක අංශය. එතෙන්දි අපිට පෙනී යනවා මේ රටට එන සංචාරකයින් ඔවුන්ගේ ගමනේ වැදගත් කොටසක් විදියට ත්‍රීවිල් එකක නැගලා ටුක් ටුක් සංචාරයක් යාමට විශාල කැමැත්තක් දක්වන බව. මේ වැනි සංචාරකයින්ගේ පැමිණීම පහුගිය අවුරුදු දෙක තුන තුළ ඉතා විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා. උදාහරණයක් විදියට 2017 අවුරුද්දේ ලංකාවට විදේශ සාංචාරකයින් මිලියන 2.1 ක් පමණ ඇවිල්ලා තියෙනවා. ඔවුන්ගෙන් රටට ලැබුණු ආදායම් ඩොලර් බිලියන 4 කට ආසන්නයි. 2020 වෙනකොට රටට එන සංචාරකයින් ප්‍රමාණය මිලියන 4.2 දක්වා වැඩිකරගෙන ඔවුන්ගෙන් ලැබෙන ආදායම් ඩොලර් බිලියන 7 ක් දක්වා වැඩිකර ගැනීම අපේ සැලැස්මක්”.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]