ප්‍රමුඛ පුවත 1

අනියම් ගැබිනි බිරිඳ මරා හමුදාව පිට වරද පටවන්න තැත්කළ කොටියා මාට්ටු

UTV | COLOMBO – සිය අනියම් ගැබිනි බිරිඳ අභිරහස් අන්දමින් ඝාතනය කර එය යුද හමුදා සාමාජිකයන් විසින් සිදුකළ බවට පොලිසිය නොමඟ යැවීමට සැලසුම් කළ එල්.ටී.ටී.ඊ. පොලිසියේ හිටපු සාමාජිකයකුු කිළිනොච්චිය පොලිසිය මගින් පෙරේදා (01 දා* අත්අඩංගුවට ගෙන ඇත.

කරුපයියා නිත්‍යකලා නමැති තිස් දෙහැවිරිදි එක්දරු මව ඝාතනය කළේ යුද හමුදා සාමාජිකයකු බව කියමින් දෙමළ ජනතාව පසුගිය දින කිහිපයක් තිස්සේ ඊට විරෝධය පළකරමින් කිළිනොච්චිය නගරයේ විරෝධතා පැවැත්වූහ.

මෙම ඝාතනය සිදු වී පැය 48 ක්‌ ගත වන්නට පෙර එහි සියලු තොරතුරු අනාවරණය කරගෙන සැකකරු ද හෙළිකර ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

කිළිනොච්චි කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පාලිත සිරිවර්ධන මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ අධිකාරි එච්. සමුද්‍රජීව මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශනය කළ පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ මෙම අභිරහස්‌ ඝාතනයේ සුලමුල හෙළි කරගෙන සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.

කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචි එක්‌දරු මවක වූ නිත්‍යකලා යුද හමුදා සෙබළකු සමග මීට පෙර විවාහ වී සිට ඇති අතර පසුව ඔහුගෙන් වෙන් වී ඇත. කිළිනොච්චිය නගරයේ ඇඟලුම් කම්හලක සේවය කරන අතර, ඇය එහි ආරක්‍ෂක නිලධාරියකු ලෙස සේවය කරන හිටපු එල්.ටී.ටී.ඊ පොලිස්‌ නිලධාරියා සමග අනියම් සබඳතාවක්‌ පවත්වා ඇත.

ඔහුට දාව ඇයට දරුවකු පිළිසිඳ ගැනීමෙන් පසු තමා විවාහ කර ගන්නා ලෙස මෙම කාන්තාව හිටපු එල්.ටී.ටී.ඊ. පොලිස්‌ නිලධාරියාට බලපෑම් කර ඇත.

පසුගිය 28 වැනිදා රාත්‍රි සැකකරු නිත්‍යකලා කිළිනොච්චිය ප්‍රදේශයේ වැවක්‌ ආසන්නයට රැගෙන ගොස්‌ එහිදී ඇයට පහර දී ගෙල සිරකර මරාදමා මළසිරුර වැවේ සොරොව්වක සිරකර පලාගොස්‌ ඇත.

පොලිස්‌ අධිකාරී සමුද්‍රජීව මහතාගේ මෙහෙයවීමෙන් පොලිසිය සැකකටයුතු දුරකථන අංක කිහිපයක්‌ යටතේ විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර හිටපු එල්.ටී.ටී.ඊ. පොලිස්‌ සාමාජිකයා පාපොච්චාරණය කර ඇත්තේ තමාව විවාහ කර ගන්නා ලෙස දිගින් දිගටම කළ බලපෑම් නිසා ඇයගෙන් බේරීමට මෙම ඝාතනය කළ බවයි.

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්‌පති මහින්ද ගුණරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පාලිත සිරිවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත පොලිස්‌ අධිකාරි එච්. සමුද්‍රජීව මහතාගේ මෙහෙයවීමෙන් කිළිනොච්චි මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ලලිතරත්න, උප පොලිස්‌ පරීක්‍ෂක ජෙසින්ටන් ඇතුළු නිලධාරීහු පිරිසක්‌ වැඩිදුර විමර්ශන සිදුකරති.

Related posts

උසස් අධ්‍යාපන ආයතන 10 ක් ස්ථාපනය කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

ඡන්ද හිමි නාමලේඛණය ලබන 23 වනදා සිට ප්‍රදර්ශනය කෙරේ

Mohamed Dilsad

මීතොටමුල්ලේ හානිවූ නිවාස පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment