රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය භාරගත් පසු 25 වතාවක් විදෙස්ගත වූ බවට චෝදනා නැඟුවත් එලෙස විදේශගත වූයේ පැවති ආර්ථික අර්බුදයෙන් රට මුදාගැනීමට ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට පමණක්ම බව එජාප සභාපති වජිර අබේවර්ධන පවසයි.
“රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය භාරගැනීමෙන් පසු රට ඔසවා තැබීම වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී කටයුතු කළා. නමුත් එතුමා ඒ දේවල් තැන්තැන්වල කීමට කාලය වැය කළේ නැහැ.
මේ රටේ ඇත්තටම සාපය කුමක් ද කියා ජනතාව දැන්වත් තේරුම්ගත යුතුයි. වර්තමාන ආණ්ඩුව බලයට ආවේ 77 වසරක සාපයක් ගැන කියලා. ඉතින් බලන්නකෝ මේ සාපය තිබුණු අවුරුදු 77ටම පොල් ගෙඩිය රුපියල් 100යිනේ. රනිල් වික්‍රමසිංහ 8 වැනි විධායක ජනාධිපති ලෙස කටයුතු කර රට භාර දී යනකොට පොල් ගෙඩිය 100 යි. නමුත් මේ ආණ්ඩුව බලයට ඇවිත් දින 77ක් යනකොට පොල් ගෙඩිය රුපියල් 250 යි. ඉස්සරහට රුපියල් 300ට විතර යයි. ඒ විතරක් ද රට පුරා හාල් හිඟයක් ඇතිවෙලා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න බැරි ආණ්ඩුව අද රනිල් වික්‍රමසිංහ මහතාට පුළුවන් හැම විදියටම දොස් කියනවා.
හාල් විතරකුත් නෙමෙයි අද ලුණුත් පිටරටින් ගෙන්වන්න පටන් අරන් තියනවා. 2004 දී සුනාමිය ආව වෙලාවේ ලංකාව වටේ තිබුණු ලුණු ලේවායන් සියල්ලම වගේ විනාශ වුණා. නමුත් ලුණු පිටරටින් ගෙන්නුවේ නෑ. ඒ නිසා තමයි මම කිව්වේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට පාලනය කරද්දීත් ඔය කියන රිළව් හිටියා. රනිලුත් හිටියා, පොලුත් තිබුණා. ලංකාවේ ප්‍රධාන හාල් මෝල් හිමියන් පස් දෙනාත් හිටියා, රනිලුත් හිටියා, හාලුත් තිබුණා.
කොච්චර කිව්වත් අපේ රටේ මහජනතාව ඒක ඇහුවේ නෑනේ. දැන් ඉතින් රටේ මහජනතාවම හොඳට හිතලා බලන්න ඕනෑ අවුරුදු 77ක සාපය ද දවස් 77ක සාපය ද වඩාත් හොඳ කියලා? රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති ධුරය භාරගෙන ගෙදරට වෙලා නිදාගෙන හිටියේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිසිම දවසක අරලියගහ මන්දිරයේ හෝ ජනාධිපති මන්දිරයේ නිදාගෙන නැහැ. තවමත් රට හදන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණයි“